Blogroll

Follow us on Facebook

Followers

Tuesday, September 17, 2013

ලයිසොන් මෙඩිකල්


       මේ කියන්න යන දේ නම් උනේ ඊයේ දවසෙයි.ඒ වගේම මේ ගැන මට බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුනේ මගේ හිතවතාත් ලයිසොන් ගන්න ගිහින් ලබපු අද්දැකීම් හරි අපුරුවට බ්ලොග් එකේ පල කරලා තිබුන නිසයි.ඔයාලා ඒකත් කියවන්න මෙන්නමෙතනින්.අපේ ජිවිත ගොඩක් අද්දැකීම් වලින් පිරිලා.අපි ලබන අද්දැකීම් තවත් කෙනෙකුට පවසලා ඒ ගැන යමක් තවත් කෙනෙක් දැනුවත් වෙනවනම් මන් හිතනවා ඒක හොද දෙයක් කියලා.හරියට අත්දැකීම් ලබන්න ගන්න පෙර සුදානමක් වගේ.....
   මෙන්න මේකයි මට උන සිද්දිය.මාත් හා හා පුරා කියලා ඩ්‍රයිවින් ලයිසොන් එකක් ගන්න ඔන්න මේ ලගදි දවසක ගොඩ වැදුනා ලර්නස් එකකට.ඒකට ගිහින් මගේ කාරණා ටික කියලා ඇඩ්වාන්ස් එකකුත් ගෙව්වා.හැමෝම දන්නවනේ ලයිසොන් කොලයක් ගන්න මෙඩිකල් රිපෝට් එකක් ඕනි කියලා.ඒකනම් ඒ හැටි දෙයක් නෙමෙයිනේ.මොකද මිට අවුරුද්දකට දෙකකට උඩදී මං මගේ සහ පිරිවරත් එක්ක ලර්නස් එකකට ගිහින් විස්තර කතා කොරන කොට කිව්වා,
 “රු.500 ක් විතර යන්නේ ඩොක්ටර් කෙනෙකුට කියලා මෙඩිකල් රිපෝට් එකක් ගන්න “.
ඉතින් ඔන්න ඕක මගේ හිතේ තිබුන නිසා මන් ඒ ගැන ඒ තරම් ගණන් ගත්තේ නෑ.ඔන්න ලර්නස් එකේ හිටපු ඇන්ටි කිව්වේ නැතැයි රත්නපුරේ නිව් ටවුන් එකේ තියෙනවා මෙඩිකල් රිපෝර්ට් දෙන තැන.ඒකට ගිහින් රිපෝර්ට් එකක් අරන් එන්න කියලා.උදේ 9 ඉදන් 3 වෙනකන් දෙනවා කියලත් කිව්වා.මොනා කොරන්නද පලයන්කෝ දැන් නිව් ටවුන්..මාත් ඉතින් හා කියල එන්න අවා..
  කලින් ලයිසොන් අරන් තිබුනා අපේ මාමා.මන් ඉතින් මාමා කාරයාගෙන් ඇහුවා මේ මෙඩිකල් රිපෝර්ට් කතාව ගැන.
"ඔවු ඔවු ,දැන් මෙඩිකල් රිපෝර්ට් දෙන්නේ නිවු ටවුන් එකේ විතරයි.ඒකටත් රු.750 ක් ගන්නවා.”
    මට මරුවට කේන්ති ගියෙමි.ඇයි දෙය්යනේ කලින් යසට රු.500 ට නිදහසේ කරගත්තු වැඩේ දැන් පෝලිම් වල රැකලා තවත් රු.250 ක් වැඩිපුරත් ගෙවන්න එපැයි.මොනා කොරන්නද,කොහොමහරි ලයිසොන් එක ගන්නත් ඕනිනේ.ඒක නිසාම මන් ඊට පහුවදා ගියා නිවු ටවුන් එකේ NTMI(NATIONAL TRASPORT MEDICAL INSITITUTE) එකට.ඒකත් හරියට රජයේ ඉස්පිරිතාලේ OPD එකේ බෙහෙත් ගන්න ගියා වගේ වැඩක්.සෙනග හෝ ගාලා.අනේ මන්ද එක දවසට මෙඩිකල් රිපෝර්ට් ගන්න තරමට ලංකාවේ වාහන තියෙනවද කියලනම් මට සැකයි.

   මේකේ පැකේජ් එකනම් පෙර ගෙවුම්.ඒ කියන්නේ මෙඩිකල් එක පාස් ද නැද්ද කියලා දැනගන්න කලින් සල්ලි ගෙවන්න ඕනි.කලින් රු.750 ක් ගෙවලා තමා ඇතුල් වෙන්න තියෙන්නේ.මාත් ඔන්න රු.750 ක් කැෂියර්ට ගෙවලා රිසිට් එකකුත් අරන් ඒකත් ඊලග මෙසේ ඉන්න නෝනට දීල වාඩි උනා.කැෂියර් එකේ නෝනනම් මාර භාණ්ඩේ.හරියට සුකුරුත්තන් ගොඩක් එල්ලගත්ත ලිෆ්ටික් වලින් තොල් දෙක නාවපු නියපොතු ලොවි ගෙඩි වගේ පාට ගාපු ඉටි රුපයක් කියලා කියන්න පුළුවන්.
    ඔන්න දැන් එක එක්කෙනාගේ නම කතාකොරන්ඩ පටන් ගත්තා.ඔන්න මගේ වාරෙත් අවා.මාත් ගියා.මුලින්ම බලන්නේ බරයි උසයි.මාත් නැග්ගා තරාදිය උඩට
 “ 66 යි,..5 යි 1 යි “ කියලා කිව්වා..
 “ආ දැන් හරි ,ගිහින් වාඩි වෙන්න”....
    ඔන්න ඉතින් බරත් කිරලා උසත් මැනගෙන මාත් බලන් හිටියා ආයි මගේ නම කතාකරනකන්.ඔන්න ඔහොම ටික වෙලාවක් ඉන්න කොට මගේ නම කතකොරලා කොළ ටිකකුත් දීලා කිව්වා “මේකත් අරන් උඩට යන්න” කියලා.මාත් ඉතින් කියපු විදිහටම ඔන්න ගියා උඩ තට්ටුවට.හප්පට සිරි ගජ.උඩ තට්ටුව ඊට හපන්.ඒකත් පුරවලා සෙනග.ඈදී ගන්ඩ තැනක්වත් තියා හරියට ඉන්න තරම්වත් ඉඩක් නෑ.මං ඔන්න පඩිපෙළේ අත්වාරුවට හීන් සැරේ හේත්තු වෙලා බලන් හිටියා හිස් පුටුවක් එනකන්...
     ඔන්න ඉතින් පුටුවකුත් හම්බවුනා ඉද ගන්න.ඔහොම ඉතිං වැඩිවෙලා හිටියා.ආ මට කියන්න බැරි උනානේ.අර පහල තට්ටුවෙන් දුන්න කොළ ටික ස්ටුඩියෝ එකට දෙන්න ඕන.ස්ටුඩියෝ එකේ වෙන්නේ අපේ ෆොටෝ එකක් ගන්න එකයි.එවෙලේම පොටෝ එක අරගෙන අර අපි දුන්න කොලේ අලවනවා.ඔන්න ඉතින් මගේ වාරෙත් අවා.මාත් ස්ටුඩියෝ එකට ගිහින් පෙනී හිටලා පොටෝ එකකුත් අරන් ඇවිත් ආයිත් වාඩි උනා.ඔන්න ඊලග කාමරේ වෙන්නේ අපේ ලේ චෙක් කරන එක.එකේදී බලනවා අපිට දියවැඩියාව වගේ ලෙඩ තියෙනවද කියලා.ඒ වගේම අපේ ලේ වර්ගෙත් බලලා එවෙලේම අපිට කියනවා.ඔන්න මට දෙවන පාරටත් කතා කළා.මාත් ගිහින් ලේ චෙක් කර ගත්තා.මේකෙදි ලේ ගන්නෙ අපේ ඇගිල්ලට කටුවකින් ඇනලා.සමහරු මේ ගැන නොදැන හොදට ගිහින් වාඩි වෙලා ඉන්නවා.අතට කටුවෙන් ඇන්න ගමන් උඩ විසි වෙනවා මන් කලින් බලන් හිටියා.වැඩේ කොහොමද කරන්නේ කියලා දන්න නිසා මාත් ගානක් නැතුව හිටියා.ඔන්න ඉතින් මගේ අතත් අරගෙන කටුවෙන් ඇනලා ලේ ටිකක් කදාවකට දා ගත්තා.ඊට පස්සේ ලේ ටිකක් සීනි චෙක් කරන මැෂින් එකටත් දාල කදාවේ තිබුන ලේ වලට මොනවදෝ මන්ද ටිකක් දාලා කරකො කරකෝ බලාලා එතැන හිටිය නෝනා කිව්වා,
"ඔයාගේ ලේ වර්ගය A පොසිටිවූ" කියලා.මාත් ඉතින් හා කියලා ආයිත් එලියට ඇවිත් වාඩි උනා.
    ඔන්න ඊළගට තමා නියම වැඩේ තියෙන්නේ.ඊළගට තියෙන්නේ ඩොක්ටර් ඉන්න කාමරේට යන්න.මං වාඩි වෙලා ඉන්නකොටත් ඒ කාමරේ ඇතුලට ගිහින් සමහරු නම් එලියට ආවා.ඒ ආපු අයනම් ආවේ ෂර්ට් වල කොලර් ,අත් එහෙම හද හදා,කෝක උනත් මන් නම් ඒ ගැන කලින් දැනුවත් වෙලා හිටියේ අපේ මාමාගෙන්.ඒකෙ ඇතුලෙන් තමා අන්තිම තීන්දුව නිකුත් කරන්නේ.ඒ කියන්නේ ලයිසොන් එකක් දෙනවද නැද්ද කියන එක.ඔහොම ඉතින් ටිකක් වෙලා බලන් හිටියා.ඒ වෙනකොටත් මන් එතෙන්ට ඇවිත් පැය 2 කකට වඩා ගත වෙලා..ඔන්න ආයිත් පාරක් නෝනා කෙනෙක් කොළ ටිකක් අරගෙන ඇවිත් මෙන්න මෙහෙම කිව්වා..
“මේ නම් කියන අය සපත්තු සෙරප්පු ගලවලා බෑග් ගමන් මලු ඉන්න තැන් වලම තියලා id කාර්ඩ් ෆෝන්,පර්ස් කලිසම් සාක්කුවේ දාගෙන ඇතුලට යන්න.ඇතුලෙදි හැමෝම ඩොක්ටර් කියන ඒවා හොදට අහන ඉන්න ඕන,එක්කෙනෙක්වත් හිනා වෙන්න කතා කරන්න ලෑස්ති වෙන්න එපා.හරිද.ආ දැන් මේ අය යන්න.”
    ඔන්න ඔහොම කියලා මගේ නමත් ඒ නම් අතරින් කියවුනා.මාත් ඉතින් ඔන්න කස්ටියත් එක්ක ඇතුලට ගියා...
    මේ කාමරේ ඇතුලේ ඉන්නවා ඩොක්ටර්ට සහය වෙන කෙනෙක්.ඒ යකානම් එතැන හිටියේ හරියට ඌ එතන ලොක්කා වගේ.කොහොමත් සමහර තැන්වල ලොක්කා පාර්ට් දාන් ඉන්න හින්චයියලත් ඉන්නවනේ.ඔන්න කට්ටියම රූම් එක ඇතුලට ගියා..
"හා හා ..ඉක්මනට ..ඔය ඇදන් ඉන්න ෂර්ට් ,ටි ෂර්ට් ඔක්කොම ගලවලා බැනියම් එහෙමත් ගලවලා අර එහායින් තියෙන කොකු වල එල්ලන්න.බැනියම වැහෙන්න එල්ලන්න ඕනි හරිද...."
අර කලින් කියපු ඩොක්ටර්ගේ ගෝලයා කියාගෙන ගියා..
දැන් ඉතින් ඔන්න ඔක්කොම ඇදුම් ගලවනවා.මාත් ඉතින් ඇදන් හිටිය බැනියමයි ෂර්ට් එකයි ගලවලා කියපු විදිහටම එල්ලුවා..
" හරිද ..දැන් ඔක්කොමලා පේලියට ඉන්න..ඉක්මන් කරන්න."
ඔන්න දැන් අර ගෝලයා එන දෙන්න පටන් ගත්තා...
"කලිසම් කකුල් නවා ගන්න දනිස් දෙක හොදට පේන විදිහට,සරම් ඇදලා ඉන්න අය සරම උඩට කරලා ගැටගහගන්න..id කාර්ඩ් සාක්කුවේ දා ගන්න.නැත්නම් ඉනේ ගහගන්න.."මේ යකා කියවනවා මොකාද එකා වගේ.
"හා දැන් අත් දෙක ඉස්සරහට දික් කරන්න,
හොදට හොදට ඇගිලි ටික පේන විදිහට ....,
දැන් ඇගිලි නවන්න දිගාරින්න...,දැන් ඇගිලි වලින් හිට ගන්න.දැන් අතේ ඇගිලි වලින් පොලොව අල්ලන්න.හා හා දනිස් නමන් නැතුව නැමෙන්න..
නැගිටින්න,
අනිත් පැත්ත හැරෙන්න,හරි ආපහු ඇගිලි වලින් හිට ගන්න,ආ රයිට් .."
ඉක්මනට කට්ටිය පේලි දෙකක් හැදෙන්න බිත්තිය පැත්තට මුහුණ දාලා..
දැන් එක්කෙනා එක්කෙනා එන්න,බෝර්ඩ් එක කියවන්න.."
පිස්සු හැදෙනවා.ඇත්තටම මටනම් මේ කරන ඒවා දැකලා හිනා ගියා.ඒත් යන්තම් ඒක නතර කරගත්තා..
මුලින්ම දුන්නේ බෝර්ඩ් ඒක කියවන්න.ඒ කියන්නේ ඇස් පෙනීම බලන්න.ඔන්න දැන් කට්ටිය කියවනවා..ඔය අස්සේ සමහරු බෝර්ඩ් එකේ නැති ඉංග්‍රීසී අකුරුත් කියවන්න ගත්තා..ඒකටනම් ඩොක්ටර්ටත් මල පැන්නා.
"බොරු කියන්න එපා මනුස්සයෝ,ඕකේ ඇති R අකුරක් නෑ.හරියට කියනවා බලලා." ඩොක්ටර් කාරයා සැර කරා.
 ඔන්න ඉතින් මගේ වාරෙත් ආවා...ඉතුරු ටික කියන්න කලින් කියන්න ඕනි මගේ දකුණු ඇහේ පෙනීම දුර්වලයි.ඒක නිසා මම කණ්ණාඩි කුට්ටමක් නිතර පාවිච්චි කරනවා..
බෝර්ඩ් ඒක කියවන්නේ ඒක ඇහැක් වහලා අනිත් ඇහෙන් බලලා.ඔන්න මාත් ගිහින් හිට ගත්තා.කෙලියනේ තාප්පෙටම.අර ගෝල බාලයා වහුනේ නැතැයි මුලින්ම මගේ හොදට පේන ඇහැ.මොනා කොරන්නද.ඔන්න දැන් ඌ පෙන්නන අකුරු කිවන්න පටන් ගත්තා.මුල දෙක තුනක් කිව්වා,පහලට යන්න යන්න දැන් මට මොකුත් පෙන් නෑ.මොනා කරන්නද මං කිව්වා මට පේන් නෑ කියලා..අනික මගේ කරුමෙටම මුලින්ම බැලුවේ කන වෙච්ච ඇහැනේ..මන් හිතා ගත්තා කොහොමහරි කියන්න ඕනි මගේ ඒක ඇහැක් විතරයි පේන් නැත්තේ කියලා.
මේක අහලා ඩොක්ටර් කාරයයි,ගෝලයයි සෑහීමට පත් උන් නෑ මං ගැන.
"ඒකෙන්ම ඉවරනේ" ඩොක්ටර්ට නිකම්ම කියවුනා...
"හා හා ඔයා අන්තිමට එන්න,අනිත් අය එක්කෙනා ගානේ මෙහෙට එන්න."
මට කර කියා ගන්න දෙයක් නැති උනා.මාත් වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් හිටියා මගේ වාරය එනකන්.අනිත් අයටත් දැන් පුදුමයි මං ගැන.මොකද ඒ කාටවත් විශ්වාසයක් නෑ මට ලයිසොන් ගන්න පුළුවන් වෙයි කියලා.
ඔන්න ඔක්කොමලා ෆෙෂර් එහෙම ඔක්කොම චෙක් කරගෙන කිසිම අවුලක් නැතුව එලියට ගියා..ඔන්න මන් විතරයි අන්තිමට ඉතුරු උනේ.ඔන්න මාත් ගිහින් වාඩි උනා ඩොක්ටර් ලග තිබුන පුටුවේ.ෆෙෂර් එක බලන්න හදනකොටම මන් කිව්වා,
"ඩොක්ටර් මගේ දකුණු ඇහැ විතරයි පෙනීම අඩු,අනික් ඇහැ හොදට පේනවා කියලා."
"මට කරන්න දෙයක් නෑ,එක ඇහැක් විතරක් පේන අයට ලයිසන් දෙන්න එපා කියලා තියෙන්නේ.මේක මං කියපු එකක් නෙමෙයි ඉහලින් කියපු එකක්."
මට එවෙලෙම ලයිසන් එපා විය.මන් නැවතත් මගේ ඇහේ දුර්වලකමත් හොදට පෙනෙන බවත් ඩොක්ටර්ට කිව්වා.මොකද මට වෙන කරන්න දෙයක් නෑනේ.
"මෙයාව ආයිත් චෙක් කරන්න"ඩොක්ටර් ගෝලයට කිව්වා.
"ඔයා ගිහින් ටැප් එකෙන් මුහුණ හෝද ගන්න.සබන් ගාන්න එපා."
පැවසු ලෙසම මම මුහුණ සෝදා ගතිමි.එසේ කිව්වේ කුමන හේතුවකටදැයි වත් නොසිතා මම එය කලෙමි.නැවතත් මට බෝර්ඩ් ඒක කියවන්න අණ කළේය.එවෙලෙහි නම් මට සිතුණේ කලින්ටත් වඩා මේ පාර අපැහැදිලි බවයි.වෙන දෙයක් වුනාවේ කියලා මන් ගෝලයා පෙන්නපු අකුරු ටික කියෙව්වා.මුලින්ම කියවන්න බැරි උන පේලියටත් ඔන්න දැන් අවා.මට එවේලේත් ඇත්තම කියනවනම් ඒ අකුරු මොනාද කියලා හරියටම පැහැදිලිව පෙනුනේ නෑ.ඒත් ඒ පෙන්නන අකුර මේකයි කියලා මට කිතුන අකුර කිව්වා..
"ඔය තියෙන්නේ."
තව එකක් කියන්න ,"
මම එකත් පෙර ලෙසම හිතෙන විදිහට කීවෙමි.
"ඔය හොදටම ඇති"
  ඩොක්ටර්ගේ කටහඩ මට එකවර ඇහුනා.ඇත්තටම මටත් හිතා ගන්න බෑ.කලින් පෙනුන් නැති අකුරු ටික මන් කිව්වද කියලා.සමන් දෙවියන්ට පින් සිද්ද වෙන්න මං ගොඩ ගියා කියලා මට එවෙලේ හිතුනා.අන්තිමට මට ලයිසොන් එක ගන්න මෙඩිකල් රිපෝර්ට් ඒක හම්බුනා.ඒත් එකේ ගහලා තියෙනවා.මගේ ඇස් පෙනීම දුර්වලයි.ඒ වගේම මම කණ්ණාඩි පළදිනවා කියලත්.ඒ වගේම දැන් මට ලැබෙන ලයිසොන් කාර්ඩ් එකෙත් කණ්ණාඩි කුට්ටමක රුපයකුත් වැටෙනවා කියලා මට පසුව දැනගන්න ලැබුනා..පෙර පිනකටද මන්දා මන් ඔන්න ඔය විදිහට තමා මෙඩිකල් එක පාස් උනේ...
කට්ටිය මේක කියවලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

Monday, September 2, 2013

ඇඟ ලොමු දැහැ ගන්වන කතාවක්


       
       මේ ඇඟ ලොමු ඩහැ ගන්වන කතාව කීමට මට හිතට ආවේ මගේ හිතවතා වන සුපුන් ඔහුගේ බ්ලොග් පිටුවේ(CSK Lanka) පල කර තිබූ අපූරු ඒ වගේම බිය ජනක වූ හොල්මන් කතාව නිසයි.ඇත්තටම ඒ පල කරපු කතාවනම් මරු.ඔයාලත් කියවලා බලන්නකෝ.(මෙතන කොටන්න)ඒ කතාව කියවලා මාත් හොල්මන් උන පාර මන් නැවතුනේ කාලයක් තිස්සේ මන් පුවත්පත් වලින් එකතු කරපු හොල්මන් අවතාර ගැන පළවූ ලිපි ගොඩ උඩයි.වෙලාවකට සමහරුන්ට හිතෙනවා ඇති මට පිස්සු ලියලා.ගණන් ගන්න එපා මේ මගේ හැටි.ඒත් මන් තාම හොලමනක්නම් දැකලා නෑ ජීවිතේට.ඔන්න එහෙනම් මගේ හොල්මන් කතාව කියවල බලන්නකෝ..
              මේකේ කතා නායකයා කුමා කියලා කෙනෙක්.කුමා ලංකාවේ උනාට කොලු ගැටයා කාලෙම ඌ ලංකාව දාල ගිහින් ස්වීඩනයට.ඔය දැන් කාලේ ඉන්න සමහරුත් එහෙමනේ..කුමා හැබැයි ගිහින් තියෙන්නේ තනියෙන් නම් නෙමෙයි.අම්මා,තාත්තා,අක්කලා,නංගිලා එක්ක තමයි.උප්පත්තියට පින් සිද්ද වෙන්ඩ කුමාට හොදට ඉංග්‍රීසී හොඳට පුළුවන්ලු.ඒ කුමාගේ තාත්තා ලංසි කාරයෙක් නිසා.ඒත් කුමා ලංකාවේ ඉගෙන ගන්නකොට හැමදාම පන්තියේ අන්තිමයාලු.ඒක නිසා හැමදාම බැනුම් පිට බැනුම් අහනවලු.ඒත් ස්වීඩන් ආවට පස්සේ නම් මිනිහා වරද්දන් නැතිව පාසැල් ගියාලු.කවුද දන්නේ මිනිහට ලංකාව ඇලජික්ද දැන් නෑනේ.කොහොමින් කොහොම හරි කුමා පාසල් වැඩ ටික හොඳට කරගෙන ගියාලු.කුමාට වයස 16-18 වෙනකොට කුමාගේ හොඳම මිතුරන් වෙලා හිටියේ ස්වීඩන් වල ස්ටොක්හොල්ම් නගරයේ ජිවත් වෙච්ච හෙන හයි පයි පොරවල්ගේ ළමයිලු.මාරයි නේ.ඒ ළමයිගේ අම්මලා තාත්තලා වෛද්‍යවරු ඉංජිනේරුවෝ නීතිපති වරුන් පොලිස් නිලදාරීන් ආදී නොයෙක් අය නිසා කුමාට මේ අයව හොඳට ආශ්‍රය කරන්න හම්බෙලා.දැන් හොලිවුඩයේ හොද නමක් දිනාගෙන ඉන්න ජනප්‍රිය නලුවෙකුත් මේ අතරේ උන්නලු.නම නම් මගෙන් අහන්න එපෝ.ඒ කුමා ඉංජිනේරු පිඨයේ ඉගෙන ගන්න කාලේ ඒ නළුවත් ඉංජිනේරු පිඨයේ ඔවුන්ගේ සගයෙක් නිසා.කුමා ඇසුරු කල ඒ මිතුරාද අනෙක් මිතුරන්ද ගෑනු දඩයමේ හෙන රුසියෝලු.කුමාගේ ඇතැම් මිතුරන්ට කෙල්ලෝ තුන් හතර දෙනා හිටියලු.ඒ විතරක්යැ මුන්ගේ වැඩ ඔක්කොම එලිපිටලු.ආයි ලංකාවේ වගේ එක කෙල්ලෙක් දාගෙන පනින පැනිලි එහෙ නෑලු.ඔක්කොම එලි පිටලු.
 “උඹට තාම කෙල්ලෙක් දැලේ දාගන්න බැරුව දගලනවා.ඒකට බලපන් අපි”
           කුමාගේ සගයන් කුමාට එහෙම කිය කියා පාච්චල් කරනවලු.ඒ විතරක් නෙමෙයි සගයන් හා ඔවුන්ගේ කෙල්ලන් සමඟ ඇති ලිංගික සම්බන්ධතා ගැනද කුමාට කියවනවලු.කුමාත් ඉතින් අසරනයිලු.මොකද ලංකාවේ කොල්ලෝ ලජ්ජා බයට හැදිච්චි කොල්ලොනේ.
        කුමා ඉංජිනේරු පීඨයට ආවේ ගියේ උමං දුම්රියෙන්ලු.ඒක නිසා කුමාලගේ ගෙදර ඉදන් විනාඩි විසිපහක් තිහක් වෙනකොට කුමාට ඉංජිනේරු පීඨයට යන්න පුළුවන්ලු.කුමා හැමදාම මේ උමං දුම්රියේ අවේ ගියේ පිටිපස්සේ පෙට්ටියෙලු.හැමදාම වගේ ඒ පෙට්ටියේ යන එන ගෑනු කෙනෙක් කුමා ගැන උනන්දුවෙන් බැලනවලු.කිහිප දිනක් ඔහොම යනකොට දන්නෙම නැතිව කුමාත් ඒ ගෑනු කෙනා ගැන හිතන්න ගත්තලු.ඒ කුමාගේ සගයන් කියන කතා නිසාලු.බැලු බැල්මට ඒ ගෑනු කෙනා කුමාට වඩා අවුරුදු පහ හයකින් වැඩිමල්ලු.දවසක් කුමා ඒ ගෑනු කෙනා එක්ක කතාවට වැටුනලු.ඇය ඉපදී ඇත්තේ තුර්කි වලයි.ඒ වුනාට කුමා වගේම පොඩි කාලේ ඉදන් ඉදලා තියෙන්නේ ස්වීඩන් වළලු.ඇය වයසින් 25 ක් ලු.යුරෝපයේ මේ වගේ සම්බන්දතා වලට වයස් බේදයක් නැහැලු.අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ හැටේ හැත්තෑවේ කාන්තාවන් සමඟ දිවි ගෙවනවලු.ඒක නිසා මේ ගැන අරුමයක් නෑ.දැන් වැඩේ එල කිරට යනවලු.කුමා දැන් ඒ කාන්තාවගේ පෙම්වතා වී අවසන්..
    
 “මටත් කෙල්ලෙක් ඉන්නවා.”
කුමා තම සඟයන්ට කිව්වේ උජාරුවෙන්ය.
    “ඔයා මගේ ගෙදර එන්න.”
    
 දිනක් ඇය කුමාගෙන් එලෙස ඉල්ලීමක් කලාලු.ඒ කුමාට අයගෙන් ලැබුණු එකම ඉල්ලීම නිසා කුමාටත් හොද සුදානමකින් ඇය වෙත යා යුතු විය.කුමාගේ එක වැඩිමල් සහෝදරියක් විවාහ වී සිටියේ ස්වීඩනයේ දන කුවේරයෙකු සමඟය.එම සොයුරියට ෆෙරාරි මෝටර් රථයක් ඇතුළු මෝටර් රථ ගණනාවක් තිබී ඇත.මේ කාලය ස්වීඩනයේ ග්‍රීෂ්ම කාලයයි.කුමාට අදහසක් පහල විය.ඒ පෙම්වතිය බලන්නට හොදට සැරසී යන්නටය.අනික කුළුදුලේ බැදී පෙමනේ..කුමා තම සොයුරිය මුණ ගැසෙන්නට ගියාලු.
   “අක්කේ !මට අක්කගේ ෆෙරාරි එක පොඩි වැඩකට ගන්න පුලුවන්ද?”
කුමා සහෝදරියගෙන් ඉල්ලීමක් කලේය.
“ඇයි?,ඒ මොකටද?”
සහොදරී විමසුවාය.
“මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න.”
කුමා ඇත්තම කිවේය.......
“කන්ග්‍රජුලෙෂන්”
       
 මල්ලිට පෙම්වතියක් ලැබීම ගැන අක්කා සතුටු වෙලා,අක්කා ෆෙරාරි රියට අමතරව මල්ලිට අමතර මුදලක්ද දුන්නාලු .ඒ පෙම්වතියට චොකලට් එකක්,මල් පොකුරක්,වයින් බෝතලයක් අරන් යන්නට උපදෙස් දෙමිනි.කුමා අක්කට නොසෑහෙන සේ ස්තුති කළේය.අක්කා කියූ ලෙසම පෙම්වතියට චොකලට් එකක්,මල් පොකුරක්,වයින් බෝතලයක් ද රැගෙන ෆෙරාරි රියට නැගී පෙම්වතිය මුණ ගැසීමට ඔන්න කුමා ගියාලු.
  පෙම්වතිය පදිංචි වී සිටියේ මහල් දොළකින් යුත් මහල් නිවාසයක ඉහලම මහලෙලු.මේ කියන වෙලාව හරියටම රෑ 8 කනිසමලු.ඔන්න දැන් කුමා ගිහින් ගෙදර දොරට තට්ටු කලාලු.පෙම්වතිය ඇවිත් දොර ඇරලා,

“එන්න වාඩි වෙන්න,මම ඉක්මනට වොෂ් එකක් අරගෙන එන්නම්.”කියලා ඇය ගිහින්.
      
 පෙම්වතිය නාන කාමරයට ගිය නිසා කුමා හරි බරි ගැසී සාලයේ සුවපහසු අසුනක වාඩි වෙලා ඉදිරියට කරන දේවල් ගැන හිත හිතා හිටියලු.ඒ වෙලේ ඇත්තටම කුමාගේ හිතේ නලියමින් තිබුනේ ඔහු ගෙනා වයින් බෝතලය හොදට සප්පායම් වී පෙම්වතිය සමඟ යහන ගත වීමය.ඒ ඔහුගේ සගයන් කියූ අපූරු කතා සිහියට ඒමත් සමඟය.මිනිත්තුව දෙක ගත් වුනේය.අවසානයේ එය මිනිත්තු පහළොව විස්ස දක්වා ඇදී ගියේය.පෙම්වතිය නන කාමරයෙන් එලියට එන පාටක් නැත.ඔහු දැන් ඇගිලි ගැන ගැන උන්නලු.මොනවා හිතෙනවා ඇද්ද නේද?මොකෝ මේ මිනිහගේ පළමු අත්දකිමනේ....
  ඔන්න එකපාරටම කවුද ඉස්සරහ දොරේ අගුල කරකවන සද්දේ කුමාට අහුනලු.ඊළඟට දොර අරින සද්දෙත් දොර වහන සද්දෙත් කුමාට අහුනලු.කුමාටත් දැන් හෙනට මල..මොකද ආතල් එකක් ගන්න ආව දවස කන්න එන කාලකන්නිය නිසා.

“සමහර විට මේ කෙල්ලගේ අම්මා හරි තාත්ත හරි වෙන්න ඇති.එහෙම උනොත් නම් වැඩේ බකස්.”
කුමාට දැන් එහෙම හිතුනලු.
    
අනෙක මේ පෙම්වතිය කුමාට ඇයගේ පුද්ගලික විස්තර කිසිවක් කුමට කියා තිබී නැත.කුමාද ඒ ගැන විමසා නැත.අනික මේක උනේ ලංකාවෙත් නෙමෙයිනේ.යුරෝපයට කුල මල වයස් භේද නැහැලු.මේක අහපුවම ඉතින් අපේ ගොයියලටත් එහෙ යන්න හිතෙනවා ඇති නේ..කාරී නෑ.කාරී නෑ..
 ඔන්න දැන් දොර ඇරිය කෙනා ගේ ඇතුලට ආවලු.ඒ පිරිමියෙක්ලු.පෙනුමෙන් අමුතුයි,රෞද්‍රය.නිවසේ සාලය පසු කරලා ඒ මනුස්සයා කුස්සිය දිහාවට යනවා කුමා බලා හිටියලු.ඒ කුමා දෙසටද බැල්මක් බලමින් නිසා කුමා තුෂ්නිම්භූත වෙලා.

“මේ මොන පෙරේතයෙක්ද ,කොහෙන් පාත් උනාද මන්දා.”
කුමා ඔහුටම කියා ගත්තලු.මල පැනින් නැද්ද අනේ මෙහෙම වෙනකොට..
     ඔන්න කුස්සියට ගිය මනුස්සය දැන් එනවලු,ඒ නිකන් නෙමෙයි උල් පිහියකුත් අරන්.කුමාට උන් හිටි තැන් අමතක උනාලු.ඒ නිවසේ දොර ඇරුනේ කෙසේදැයි ඔහුට අමතකයිලු.ඒ විතරක්ද මහල් දොළහක් උස ඒ නිවසින් පහලට බැස්සේ විදුලි සොපානයෙන්ද තරප්පු පෙළ මතින්ද යන්නවත් කුමාට අමතකය.එමෙන්ම ෆෙරාරි රියේ වැඩි වුයේ කෙසේදැයි ඔහුට අමතකය.කෙසේ වෙතත් රියද පන ගන්වාගෙන කුමා ගෙදර පමිනියාලු.මාරම සිද්දිය කියන්නේ කුමාට මළ මුත්‍ර පහ වී තිබීමය.ඔහුටත් ඒ රාත්‍රියේ නින්ද ගියේ නැහැලු.ඒ මාරක දසුන හිතට පමණක් නොවැ ගතටද වද දුන්නේය.පසුවදා ඔහු උමං දුම්රියෙන් ඉංජිනේරු පිඨය බලා ගමන් කරාලු.එත් එදා වෙනදා වගේ ඔහුගේ පෙම්වතිය දුම්රියේ හිටියේ නැහැලු.ඔහු හිටියේ ඇය එදින මුණ ගැසී සිදුවූ දේ පැවසීමටය.එහෙත් ඇය නොපමිනියාය.
නමුත් එදා කුමාට මුණ ගැසී තිබුනේ කලක සිටම ස්වීඩනයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකි.

“මම දැක්කා මල්ලි අර ගෙදර ඉදලා පැනලා දුවනවා.ඒක මාර දිවිල්ලක්නේ.මල්ලි මොකටද ඒ ගෙදරට රිංගුවේ?”

”මොන ගෙදරටද?” කුමා අසා ඇත්තේ නොදන්නා ගානටය...

“අර ගෑනිගේ ගෙදරට,ඇයි මල්ලි ඒ ගනිව ඇදුරන් නැද්ද?මන් ඉන්නේ ඒ ගෙදරට ඉස්සරහ ගෙදරනේ.”
ඒ ශ්‍රී ලාංකිකයා අසා ඇත.

“එයාව මන් අදුරනවා.එකයි ගියේ.”
තවදුරත් සැගවිය නොහැකි නිසා කුමා එසේ කියා ඇත.

“බලාගෙන මල්ලි,ඒ ගැනිගේ මිනිහව ගේ අතුලේදීම මාස හයකට ඉස්සර වෙලා පිහියෙන් අනලා මරලා දාලා තිබුනා.හේතුව ඒ ගැනිගේ නරක හුටපටයක්ලු.ඒ ගෙදර දැන් හොල්මන් තියෙනවලු.මල්ලි බලාගෙන පරිස්සමින්.අපිත් දැන් ඒ පැත්තෙවත් නොයිද වෙන පැත්තකට මාරු වෙන්නයි ඉන්නේ.”
    ඒ ශ්‍රී ලාංකිකයා දැනමුතුකම් දුන්නලු.ඉතින් එයින් පස්සේ කුමා ජීවිතේට ඒ ගෑනි හම්බුනේ නැතිලු.මේ කතාව කියල ඉවර වෙනකොටත් කුමාගේ ඇගේ මයිල් කෙලින් වෙලා දාඩිය දාළලු....
 කතාව එලනම් අනිවා කමෙන්ට් දාල යන්ඩෝ............